Sunday 19th of May 2024

English Tamil
Advertiesment


රිළවුන් අපනයනය


2023-04-29 1682

 

(වික්ටර් අයිවන්)

 

වන සතුන් සහ සත්ව පාලනය පිළිබදව රටේ දියුණුවට හේතු වන හරි ප්‍රතිපත්ති නැතිකම දියුණු කෘෂිකර්මයක් ඇති කර ගැනීමට නොහැකි වීම කෙරෙහිත් කෘෂිකර්මයෙන් යැපෙන ග්‍රාමීය ජනතාව අතර පවත්නා දුප්පත්කම කෙරෙහිත් බලපා තිබෙන ප්‍රධානම හේතුන් දෙකක් ලෙස සැළකිය හැකිය. 

කිරිවලින් ස්වයංපෝෂිත වීමට උත්සහ කළේ එහිදී හරකාගේ මස්වලට ලැබිය යුතු වැදගත්කම මුළුමනින් නොසළකා හැරෙන අකාරයට ය. කිරි සදහා පමණක් ආර්ථික වශයෙන් ඵලදායි හරක් කර්මාන්තයක් පවත්වා ගෙන යා නොහැකිය. මා කිරි පිණිස එළ හරක් සීයකගෙන් යුතු හරක් ගොවිපලක් ආරම්භ කළේ යැයි සිතන්න. ලැබෙන පැටවුන්ගෙන් සියයට 50 ක් පිරිමි පැටවුන් වුවහොත් මා ඔවුන්ට කරන්නේ කුමක්ද..? ලැබන පිරිමි පැටවුන් උන් මැරෙන තෙක් කන්න බොන්න දී නඩත්තු කළ හැකිද..? කිරි දෙනුන් එක අවස්ථාවකදී කිරි නැතිකම නිසා ඉවත් කොට ඒ වෙනුවට අලුත් එළදෙනුන් යොදා ගැනීමට සිදු වේ. ඉන්පසු පරණ කිරි නැති එළදෙනුන්  සිය දෙනා උන් මැරෙන තෙක් නඩත්තු කළ යුතුද..? උන් විකිණීමෙන් ගොවිපලට උපයා ගත හැකි ආදායම රුපියල් ලක්ෂ 100 ක් ලෙස සැලකුව හොත් එම විශාල ආදායම අහිමි කර ගෙන සහ එම කිරි නොදෙන එළදෙනුන්ද මැරෙන තෙක් නඩත්තු කරමින් එම ගොවිපල පවත්වා ගෙන යාමේ හැකියාවක් තිබේද..? 

දියර කිරිවලින් රට ස්වයං පෝෂිත කිරීමේ සිහිනය ශ්‍රී ලංකාවට සැබෑ කර ගත නොහැකි වූයේ හරක් මස් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මොන මොන හේතු නිසා හෝ පවත්වා ගෙන ගිය එම මෝඩ පිළිවෙත නිසා ය. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ රටේ කිරි ගොවීන් ගෙවන ලද වන්දියේ ප්‍රමාණයද කොතරම් විශාල ද..? ප්‍රෝටීන් ඌනතාවය නිසා රෝගි වූ ජන සමාජයක් ඇති කිරීමට මස් පරිභෝජනය පිළිබදව රටේ රජ කළ යල්පැනගිය මතවාද බලපෑවේ නැද්ද..? ශ්‍රී ලංකාව දුප්පත් කිරීමට සහ අසමත් කිරීමට හේතුවූ එම පසුගාමි ආකල්ප නිවැරදි කිරීමට උත්සහා කළ දේශපාලන නායකයින් හෝ දේශපාලන පක්ෂ රටේ සිටියේද..?

මේ විෂයේදී අපට අසල්වැසි ඉන්දියාවෙන් ඉගෙන ගත් හැකි වැදගත් පාඩම් දෙකක් තිබෙන්නේය. ඉන්දියාව අපටත් වඩා මස් නොකන රටකි. එහෙත් ඔවුන්ට ඉතා රසවත් සහ පෝෂ්‍ය ගුණයෙන් අනුන ආහාර සංස්කෘතියක් තිබෙන්නේය. මාංශ ආහාරවලට පුරුදු වූ කෙනෙකුට පවා එහි තිබෙන නිර්මාංශ ආහාරවලින් සතුටුදායක සහ පෝෂ්‍යදායක පැවැත්මක් පවත්වා ගෙන යා හැකිය. 

එහෙත් ශ්‍රී ලංකාවේ නිර්මාංශ ආහාරවලට සීමාවූ ජනතාවගේ තත්ත්වය ඉන්දියාවට සාපේක්ෂව ගත් විට තිබෙන්නේ ඛේදජනක තත්ත්වයකය. රට එක්තරා ප්‍රමාණයකට හෝ නිර්මාංශ භක්ෂක තත්ත්වයක තබා ගැනීමට අවශ්‍ය නම් නිරෝගි දිවි පැවැත්මක් සහතික කිරීමට හේතු වන පෝෂ්‍ය ගුණයෙන් සහ රසවත් බවෙන් යුතු ඊට ගැලපෙන ආහාර සංස්කෘතියක් ස්ථාපනය කළ යුතුය. එසේ නැත හොත් ඔවුන්ගේ ජීවිත පැවැත්ම ඛේදවාචකයක් බවට පත් විය හැකිය. 

මස් පිළිබද විෂයෙන් ද අපට  ඉන්දියාවෙන් උගත හැකි වැදගත් පාඩමක් තිබේ. ඉන්දියාවේ ජනයා මස් කන්නේ නැතත් ලෝක හරක් මස් අපනයනයේදී ඉන්දියාව 2020 දී හතර වැනි ස්ථානය හිමි කර ගෙන තිබුණි. පළමු ස්ථානය හිමි කර ගත් බ්‍රසීලය එම වසරේ මුළු හරක් මස් අපනයන වෙළදාමෙන් 23.50% කට හිමිකම් කියන විට දෙවැනි ස්ථානය හිමි කර ගත් ඔස්ට්‍රේලියාව 13.66% කටද තුන්වැනි ස්ථානය හිමි කර ගත් ඇමරිකා එක්සත් ජනපදය 12.411% කටද හිමිකම් කියන විට හතර වෙනි ස්ථානය හිමි කර ගත් ඉන්දියාව 11.88% කට හිමිකම් කීවේය. 

ඒ වසරේ ඉන්දියාව ඉන් උපයන ලද ආදායම ඩොලර් බිලියන 3.18 කි. ශ්‍රී ලංකාවේ මිනිසුන් ද හරක් මස් කන්නේ නැති නම් අපනයනය සදහා හරක් මස් කර්මාන්තයක් පවත්වා ගෙන යන අතර කිරිවලින් රට ස්වයං පෝෂිත කිරීමේ වෑයමක යෙදුණේ නම් එය ප්‍රායෝගික සහ ඵලදායි වෑයමක් වන්නට ඉඩ තිබුණා සේම ඒ වෙනුවෙන් කරන ආයෝජනයන්ට ඊට සරිලන ලාභයක් ද ලබා ගැනීමට හෑකිවන්නට ඉඩ තිබුණි. ඇති වී තිබෙන අසමත්භාවය නිසාවත් විචාර බුද්ධිය පහළ කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වේ නම් ලොකු වලක වැටීමෙන් සිදුවී තිබෙන අති විශාල අලාභයට අතිරේකව ඒ නිසා මොළයට ලැබී තිබෙන ලාභය ගැන ශ්‍රී ලංකාවට සතුටු විය හැකිය. 

මොන මොන හේතු නිසා හෝ අප ප්‍රයෝජනයට නොගන්නා දේවල් අතර ලෝකයේ වෙනත් රටවලට ප්‍රයෝජවත් වන ඔවුන්ට විකිණිය හැකි දේවල් තිබේ නම් ඒවා විකිණීමට අපි මැලි නොවිය යුතුය. එය අප ඉන්දියාවෙන් ඉගෙන ගත යුතු වැදගත්ම පාඩමකි.

 
නව අපනයන අවකාශය 

 

රිළවුන් සහ වඳුරන් ද ඇතුළුව වන සතුන්ගෙන් කෘෂිකර්මයට වන විශාල හානි ගැන සහ එම තත්ත්වය පාලනය කිරීම සදහා යොදා ගත යුතු ප්‍රතිපත්ති ගැන දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රසිද්ධියේ කතා  කළ එකම විචාරකයා සමහර විට මා විය හැකිය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිකමේ සිටින කාලයේදී වන සතුන්ගෙන් කෘෂිකර්මයට සිදු වන හානි ගැන ලියා පළ කරන ලද  ලිපියකදී චීනය සමග තිබෙන මිත්‍රත්වය ප්‍රයෝජනයට ගෙන රිළවුන් සහ වදුරන් චීනයට යැවිය හැකි දැයි සොයා බලන ලෙස ඉල්ලා සිටියෙමි. 

මා කල්පනා කරන ආකාරයට රිළවුන් ලක්ෂයක් චීනයට යැවීම සඳහා චීනය සමග සාකච්ඡා කරන තැනකට යෑම ම ඉතාමත් නිර්භීත, කෘෂි හිතකාමි සහ ජන හිතකාමි විප්ලවකාරි පියවරකි. රිළවුන්ගේ ගහණය ලක්ෂ 30 ක් නම් ලක්ෂ 15 ක් තරම් ප්‍රමාණයක්වත් චීනයට හෝ වෙනත් රටවලට විකිණිය හැකි නම් එසේ කළ යුතුය. ඒ සදහා හොද මිළක් ලබා ගත හැකි නම් එය ශ්‍රී ලංකාවට  විවර වූ ලොකු අපනයන අවකාශයක් ලෙස සැළකිය හැකිය. 

ලෝකය බොහෝ වර්ගවල සතුන් ආහාරයට ගනී. කැරපොත්තන් ඇතුළු බොහෝ ගණනක් කෘමින් (අහාරයට ගත හැකි කෘමි වර්ග 1900 ක් හදුනා ගෙන තිබේ) අහාරයට ගන්නා ජාතින් සිටිති. චීනය, වියට්නාමය, තායිලන්තය, කාම්බෝජය, ජපානය, ඇමරිකාව සහ මෙක්සිකෝව ඒ සදහා දැක් විය හැකි නිදර්ශනයන්‍ ය. කෘමීන් ආහාරයට ගැනීම ප්‍රෝටීන් ප්‍රශ්නයට පිළිතුරක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි. 

ලයිබීරියාව, කොන්ගෝව, කැමරූනය, සුඩානය, බ්‍රසීලය, මැක්සිකෝව, කාම්බෝජය, චීනය සහ වියට්නාමය වානර ගණයට වැටෙන සියලු සතුන් ආහාරයට ගනී. එම රටවල් වානර ගණයට වැටෙන සතුන්ගේ මස් සළකන්නේ ඉතාමත් ප්‍රනීත (Delicacy) ආහාර විශේෂයක්  ලෙසය. ශ්‍රී ලංකාවේ ගම්වල සමහර මිනිස්සුද රිලා මස් කන්නේ නැතත් වඳුරු මස් කන්නෙහිය. 

චීනය, වියට්නාමය, කොරියාව, ෆිලිප්පීනය, තායිලන්තය, ලාඕසය, කාම්බෝජය සහ අප්‍රිකානු රටවල් සුනඛ ගණයට වැටෙන සතුන්ගේ මස් ආහාරයට ගන්නා රටවල්ය. පළමු ලෝක යුද්ධයට පෙර ඇමරිකාව, ප්‍රංශය සහ ජර්මනිය වැනි යුරෝපා රටවල් ද බලු මස් ආහාරයට ගන්නේය. චීනය, ආහාර පිණිස වසරකට බල්ලන් මිලියන 10-15 අතර ප්‍රමාණයක් මරණ අතර චීනයේ බලු මස් කෑමේ පුරුද්ද අවුරුදු 2000 ක් තරම් පැරණි ය. වියට්නාමය ඒක පුද්ගල වශයෙන් වැඩියෙන්ම බලු මස් පරිභෝජනය කරන රට ලෙස සැළකිය හැකිය. එහි වසරකට මස් පිණිස මරණ බල්ලන් සංඛ්‍යාව මිලියන 5 කි. කොරියාවේ මිලියන 2.5 කි. කිඹුලු මස් ද ඇමරිකාව, ඔස්ට්‍රේලියාව, ඉන්දුනීසියාව, කොරියාව, පිලිපීනය, දකුණු අප්‍රිකාව, හොංකොං සහ තායිලන්තය යන රටවල් අහාරයට ගන්නා ජනප්‍රිය මස් විශේෂයකි.

අප අන්‍ය ජාතීන්ගේ ආහාර පුරුදුවලට හිනා නොවිය යුතුය. ඒවා ඉවසීමට හුරු පුරුදු විය යුතුය. මා 2013 වසරේදී "801 වැනි මිනිසා" යන තේමාව යටතේ ලියන ලද දීර්ඝ ලිපියක ඒ ගැන මෙසේ කීවෙමි. ආහාර සම්ප්‍රදායන් හීදී තමන් නොකන දේවල් කන අය කෙරෙහි අවඥාවෙන් බලන ප්‍රතිපත්තියක් මතභේද සහ ගැටුම් ඇති කිරීමට හේතු විය හැකිය. ඒවා ඉවසීමට සහ ඒවා දෙස උපේක්ෂාවෙන් බැලීමට 801 වැනි මිනිසාගේ ගණයට වැටෙන දරුවන් පුහුණු කළ යුතුය. ඔබේ දරුවා උදේ ආහාර ගනිමින් සිටින හෝටලක ඔහුට පෙනෙන තවත් මේසයක ආහාර ගන්නා කණ්ඩායමක් අපි තම්බපු බිත්තරයක කට්ට ඉවත් කරන්නා සේ තම්බපු ගොලු බෙල්ලකුගේ කටු ඉවත් කරමින් සිටින අවස්ථාවකදී ඔබේ දැරුවා තුළ මහා අප්‍රියාවක් ඇතිවී වමනය යන තත්ත්වයක් ඇති වුව හොත් ඔහු විශාල අපහසුතාවයකට පත්වනු නොවැළැක්විය හැකිය. සමහර විට ඒ නිසා ඔහුට ජීවත්වන්න්ට සිදු වී තිබෙන රටද එපා විය හැකිය. එවැනි අවස්ථාවලදී එවැනි දේ ඉවසා දරා ගැනීමේ හැකියාව දරුවන් තුළ තිබිය යුතුය. ගොළුබෙල්ලන් කන ජාතීන්ට අපට බිත්තර මෙන් ඔවුන්ට එය රසවත් ආහාරයකි. විවිධ ආහාර සම්ප්‍රදායන්ට හුරුපුරුදු වූ මිශ්‍ර ජනතාවක් සිටින රටක අපහසු තත්ත්වයකට පත් නොවී සහ ගැටුම් ඇති කර ගැනීමෙන් තොරව එකිනෙකා කෙරෙහි ගෞරවයෙන් යුතුව ජීවත් වීමට හැකි වනු ඇත්තේ ආගමීකත්වය, ජනවාර්ගීකත්වය වැනි අංශවලදී පමණක් නොව වෙනත් ආහාර පුරුදු සහ සම්ප්‍රදායන්වලදී ද ඒවා දෙස උපේක්ෂාවෙන් බැලීමේ ශික්ෂණය ඔවුන් තුළ ඇති කිරීමෙනි. 

අසමත් තත්වයකට පත්ව තිබෙන ශ්‍රී ලංකාව ඒ තත්ත්වයෙන් ගොඩ ගෙන දියුණු රටක් බවට පත් කර ගැනීමට අවශ්‍යනම් යල් පැන ගිය පසු ගාමි ආකල්පවලින් අත් මිදී අපනයන නිෂ්පාදනයන්ට බර තබා ක්‍රියා කරන ආර්ථිකයක් අප හදා ගත යුතුය. කෘෂිකර්මයෙන් උපයන ආදායම් දියුණු කර ගැනීමට අවශ්‍යනම් වන සතුන්ගෙන් බෝග වගාවන්ට සිදු වන හානිය දැන් තිබෙන සියයට 40 ක් තරම් වන ඉහළ මට්ටමෙන් සියයට 10 ක් තරම් වන පහළ මට්ටමකට ගෙනා යුතුය. එවැනි තත්ත්වයකට රට පත්ව තිබෙන්නේ විවිධ හේතු නිසා දීර්ඝ කාලයක් තිස්සේ වගාවන්ට හානි කරන වන සතුන්ගේ ගහණය පාලනය නොකිරීම නිසාය.

 
වන සතුන්ගේ ගහණය පාලනය කිරීම

 

වන සතුන්ගේ ගහණය පාලනය කිරීම සදහා රටවලට දැඩි පියවර ගැනීමට සිදු වන අවස්ථා තිබිය හැකිය. කැන්ගරුවා ඔස්ට්‍රේලියාවේ ජාතික සත්වයාය. එහි ජන ගහනය මිලියන 25 ක් වන විට එහි කැන්ගරු ගහණය මිලියන 48 කි. 2019 වසරේදී පමණක් මරා දමන ලද කැන්ගරුන්ගේ සංඛ්‍යාව මිලියන 1.57 කි. පසුගිය විසි වසර තුළ ඔස්ට්‍රේලියාව කැන්ගරු ගහණය පාලනය කිරීම සදහා විනාශ කර තිබෙන කැන්ගරු සංඛ්‍යාව මිලියන 90 වකි. 

වන සතුන් පාලනය සදහා ආණ්ඩුව ගෙන තිබෙන ජනප්‍රිය නොවන දැඩි තීන්දු රටේ යහපතට ඉතා වැදගත් ය. ඒවා පොදුවේ රටේ යහපතට සේම ගොවි ජනයාගේද යහපතට හේතු වනු ඇත. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඇස්තමේන්තු අනුව රිළවුන්, වදුරන් සහ දඬු ලේනුන් වසරකට විනාශ කරන පොල් ගෙඩි සංඛ්‍යාව මිලයන 200කි. එහි වටිනාකම රුපියල් මිලියන 15,000 ක් පමණ විය හැකිය. වගාවන්ට හානි කරන වන සතුන් සම්බන්ධයෙන් ආණ්ඩුව ගෙන තිබෙන එක් වැදගත්ම පියවරක් වනුයේ තොරා ගත් සතුන් හය දෙනෙකු (මොණරා, රිළවා, වදුරා, දඬු ලේනා, ඉත්තෑවා සහ වල් ඌරා) ආරක්ෂිත සතුන් ලේඛනයෙන් ඉවත් කිරීමය. 

දැන් වගාවන්ට හානි කරන එම වන සතුන් දඩයම් කිරීමේ අයිතිය ගොවීන්ට තිබෙන්නේය. ඒ සමග දඩයම් කරන මස් ළඟ තබා ගැනීමේ, ප්‍රවාහනය කිරීමේ සහ විකිණීමේ අයිතියද ලබාදී ඇත්දැයි පැහැදිලි නැත. ඒ අයිතියද ලබා දිය යුතුය. එවිට දඩමස් විවෘත වෙළඳ පොලේ මිලදී ගත හැකි දෙයක් බවට පත්වනු ඇත. 

ශ්‍රී ලංකාවේ මිනිසුන් අතර වල් ඌරු මස්වලට තිබෙන ඉල්ලුම විශාලය. ආණ්ඩුව සතුව තිබෙන පතුරන් තුවක්කු, පතුරම් කිහිපයක් සමග ග්‍රාම සේවක මගින් හෝ වෙනත් අකාරයකට දින දෙකක් වැනි කෙටි කාලයක් සදහා බදු දෙන ක්‍රමයක් ඇති කළ හැකිය. ඒ මහින් ආණ්ඩුවටද ආදායම් උපයා ගත හැකි අලුත් මාර්ගයක් ඇති කර ගත හැකිය. දඩමස් ජනප්‍රිය අහාරයක් බවට පත් කිරීම රටේ ගම්බද ලොකු සෞඛ්‍ය ප්‍රශ්නයක් වී තිබෙන ප්‍රෝටීන් ඌණතාවයටද පිළියමකි. 

රිළවුන් තොග වශයෙන් අපනයනය කිරීම වැදගත් වන්නේ ශ්‍රී ලංකාවේ මිනිසුන් වදුරන් ආහාරයට ගන්නා මුත් රිළවුන් අහාරයට නොගන්නා නිසාය. රටේ අලි මිනිස් ගැටුම විසදා ගත යුතුව තිබෙන්නේද ඊට සමාන ආකාරයකටය. මා මීට කලකට ඉහතදී ප්‍රකාශ කර තිබෙන පරිදි අලින්ට වෙන්කර තිබෙන කැලෑවල නඩත්තු කළ හැකි උපරිම අලි සංඛ්‍යාව 2,000 ක් වුවත් දැන් ඒවාහී සිටින අලි සංඛ්‍යාව දෙගුණයකට වඩා වැඩිය. අලි මිනිස් ගැටුම සහ අලින් විසින් සිදු කරන විනාශය උපරිම මට්ටමකට වර්ධනය වී තිබෙන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. ශ්‍රී ලංකාවේ කැලෑවලට නඩත්තු කළ හැකි අලි සංඛ්‍යාව නිවැරදි ලෙස ගණනය කොට ඉතිරි අලි විදේශ රටවලට විකුණන ප්‍රතිපත්තියකට යා හැකිය. අලි විදේශ රටවලට අපනයනය කිරීම ශ්‍රී ලංකාවට නුපුරුදු වෙළදාමක් නොවන අතර ඒ මගින් ලොකු ආදායමක් උපයා ගැනීමට හැකියාව තිබෙනවා සේම අලි මිනිස් ගැටුමෙන් දෙපක්ෂයට වන හානිය අවම කර ගැනීමේ හැකියාවද ලැබෙන්නේය.

ශ්‍රී ලංකාවට දැන් මුහුණ දී තිබෙන අර්බුදය ජය ගනිමින් දියුණු රටක් බවට පත්වීමට හැකි වනු ඇත්තේ කඩා වැටී තිබෙන ආර්ථිකයට අතිරේකව කැබලිවී තිබෙන සමාජ ක්‍රමයද බිඳ වැටී තිබෙන දේශපාලන ක්‍රමය ද ප්‍රතිනිර්මාණය කර ගැනීමට හේතුවන ප්‍රතිසංස්කරණ වැඩසටහනකට රට යොමු කිරීමෙනි. රටට අවශ්‍ය සහල් වියලි කලාපයෙන් නිපදවා ගන්නා අතර තෙත් කලාපයේ කුඹුරු ඉඩම් අපනයන භෝග වගාවන් සදහා (ඉස්සන් ගොවිපලවල්, මාලු ගොවිපලවල්, තාරා හා පාත්ත ගොවිපවල්, මී හරක් ගොවිපලවල් වැනි) ඵලදායි ලෙස යොදා ගත හැකි නම් ගොවීන් උපයන අදායම් සමහර විට තෙගුණ කළ හැකිය.

 


 

Advertiesment